ගුවන්තොටුපොළ සේවාවන් සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීමට සැලසුම්...
- 24 hours ago
- 2 min read

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව මෙරට සියලු ගුවන්තොටුපොළ සේවා සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව අනාවරණය කර තිබේ.
මෙය අනාවරණය වූයේ 2026 වසරේ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගතිය සහ 2027 අයවැය ප්‍රතිපාදන පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය , ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගම , සෙලින්කෝ නාවික සමාගම, ශ්‍රීලන්කන් ගුවන් සේවය , ශ්‍රීලන්කන් කැටරින් , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය , වාණිජ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා (පුද්ගලික) සමාගම සහ ජයා බහාලුම් පර්යන්ත සමාගමඇතුළු අනුබද්ධ ආයතනවල කාර්යසාධනය ද සමාලෝචනය කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා ද මෙහිදී සමාලෝචනය කළ බවයි.
ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දීය රජයේ මූල්‍ය සහාය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා වරාය සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය, කොළඹ වරායේ යෝජිත ලොජිස්ටික්ස් උද්‍යානය , දකුණු ආරක්ෂිත බැම්ම දීර්ඝ කිරීම, බටහිර බහාලුම් පර්යන්තයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සියලු වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉදිරි වසර 30 සඳහා රටේ ගුවන් ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සකස් කර ඇති දිගුකාලීන සංවර්ධන සැලැස්ම පිළිබඳව ද නිලධාරීහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.
වසර තුනක සංවර්ධන වැඩසටහන යටතේ 2055 වන විට ගුවන්තොටුපොළේ වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.
2027 වසරේදී නිම කිරීමට නියමිත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ, පවතින පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ ගබඩා පහසුකම් පුළුල් කිරීම සැලසුම් කර ඇති බව ද සඳහන් විය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිත මගී ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
දේශීය ගුවන්තොටුපොළවල සිවිල් මගී ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ වඩාත් කාර්යක්ෂම සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව එක් එක් දේශීය ගුවන්තොටුපොළේ මෙහෙයුම් අවශ්‍යතා සමාලෝචනය කර ඇගයීම් වාර්තාවක් සකස් කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.
මෙහිදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දැනට දිනකට රුපියල් මිලියන 6ත් 7ත් අතර පාඩුවක් ලබන බවත්, එය වාර්ෂිකව රුපියල් බිලියන 4කට ආසන්න පාඩුවක් බවට පත්ව ඇති බවත් අනාවරණය විය.
එම තත්ත්වයට විකල්ප විසඳුම් ලෙස යෝජනා කිහිපයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, ගුවන්තොටුපොළ සඳහා ආයෝජන යෝජනා මේ වන විටත් කැඳවා ඇති බවත්, අදාළ ක්‍රියාවලිය 2027 වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු සඳහන් කළහ.
Source : Daily Mirror News
More updates to come on AusNewsLanka.


































