කඩදාසි රහිත රේගු ප්‍රකාශන සැකසුම් පද්ධතියක් ඔක්තෝබර් 1 සිට...
- Jul 29
- 2 min read

රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සහ ආර්ථික ක්‍රියාවලීන් නවීකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස කඩදාසි රහිත රේගු ප්‍රකාශන සැකසුම් පද්ධතිය (Paperless Customs Declaration Processing System) ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව රජය නිවේදනය කර ඇත.
මෙය රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන අංගයක් වන අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කිරීම එහි අරමුණ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ SEMA ගොඩනැගිල්ලේ පැවති LankaSign ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ නිවේදනයකට අනුව, නව පද්ධතිය මඟින් රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් වේගවත්, විනිවිදභාවයෙන් යුතු සහ කාර්යක්ෂම වන අතර, ආනයන හා අපනයන සමාගම් සඳහා වැඩි පහසුවක් සැලසෙනු ඇත.
ආචාර්ය කුමානායක මහතා පැවසුවේ LankaSign ඩිජිටල් අත්සන ASYCUDA පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම හරහා රේගු ලේඛන නීත්‍යානුකූලව පිළිගත් හා ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බවයි.
එමෙන්ම, ඩිජිටල් අත්සන යෙදීමෙන් පසුව ලේඛනවල සිදුකරන ඕනෑම වෙනස් කිරීමක් හඳුනාගත හැකි බැවින් වංචා සහ දූෂණ වැළැක්වීමටද මෙම පද්ධතිය ඉවහල් වන බව ඔහු සඳහන් කළේය.
රැකියා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති ලේකම්වරයා පැවසුවේ, කඩදාසි රහිත පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ රැකියා අහිමි නොවන අතර, ඩිජිටල් ක්‍රියාපටිපාටි හඳුන්වාදීමත් සමඟ ඔවුන්ගේ සේවා ස්වභාවයේ වෙනස්කම් පමණක් සිදුවිය හැකි බවයි.
මෙම පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රේගුව, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය, LankaSign, ලංකා වාණිජ මණ්ඩලය, රේගු නිෂ්කාශන නියෝජිතයන්, ආනයන හා අපනයන සමාගම් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරීන් එක්ව සිටියහ.
More updates to come on AusNewsLanka.
Source : Ada Derena News






































Comments