ඇඟලුම් අපනයනය හා විදේශ විනිමය ආදායම ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා...
- 6 hours ago
- 3 min read

රටේ ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දී සිටින අභියෝග සඳහා කඩිනම් විසඳුම් හඳුනා ගැනීම සහ අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඉහළ පෙළේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම සාකච්ඡාව සඳහා ප්‍රමුඛ පෙළේ ඇඟලුම් කර්මාන්ත නියෝජිතයන්, ආයෝජකයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටි බවයි.
මෙහිදී ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන බාධක සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (Export Development Board – EDB) නව අපනයන උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය පිළිබඳව අවධානය යොමු කර ඇත.
සාකච්ඡාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජයේ කැපවීම යළි අවධාරණය කළ අතර, ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ආදායම් වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිපත්තිමය වැඩසටහන් කිහිපයක් පිළිබඳව පැහැදිලි කළේය.
කර්මාන්ත මෙහෙයුම් ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, එමගින් අපනයන වර්ධනයට මෙන්ම රට පුරා රැකියා අවස්ථා නිර්මාණය කිරීමටද විශාල දායකත්වයක් ලබාදිය හැකි බව සඳහන් කළේය.
මෙම වැඩසටහනට ආයෝජකයන් සම්බන්ධ වන ලෙස ආරාධනා කළ ජනාධිපතිවරයා, ආයෝජන පහසු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ කර්මාන්තශාලා පහසුකම් රජයේ සහාය ඇතිව ලබාදෙන “Plug and Play” ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවද පැවසීය.
වර්තමාන ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා රුපියල් මත සිදු කරන ආයෝජන ඉහළ ගොස් තිබුණද, රටේ විදේශ විනිමය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ඩොලර් ආදායම් උපයන ක්ෂේත්‍ර තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
තිරසාර ආර්ථික ප්‍රකෘතියක් සඳහා රුපියල් වියදම් පාලනය කරමින් විදේශ විනිමය ආදායම් වැඩි කිරීම මත අවධානය යොමු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආයෝජකයන් මුහුණ දෙන ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, ඉඩම් වත්කම්වල වටිනාකම ආරක්ෂා කිරීමට සහ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජය පියවර ගන්නා බව ජනාධිපතිවරයා සහතික කළේය. මෙම ගැටලු විසඳීම සඳහා නීතිමය සංශෝධන ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම එකතු කළ අගය මත බද්ද (Value Added Tax – VAT) ක්‍රමය යටතේ දේශීය අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද අවධානය යොමු විය. සැපයුම්කරුවන්ගේ බර ලිහිල් කිරීම සඳහා හඳුන්වා දිය හැකි විකල්ප සහන ක්‍රම පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා කර්මාන්ත නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම සහ අපනයන කෝටා වැඩි කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක් විය.
වෙළෙඳ පහසුකරණ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, ජාතික වෙළෙඳ එක් කවුළු පද්ධතිය ජූලි මස අවසානය වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, ආයෝජන සඳහා වන ජාතික එක් කවුළු පද්ධතිය වසර අවසානයට පෙර අවසන් කිරීමට නියමිත බවත් අනාවරණය විය.
නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් විදේශයන් වෙත මාරු කිරීම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බවත්, එමගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) වෙනුවට නව නීතිමය රාමුවක් ස්ථාපිත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කර්මාන්ත නියෝජිතයන් ජනාධිපතිවරයා සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව ප්‍රසාදය පළ කළ අතර, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුද ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
අදාළ ගැටලු පිළිබඳව නිරන්තර සාකච්ඡා කිරීම සඳහා මාසික සංවාද වේදිකාවක් ස්ථාපිත කරන ලෙසද ඔවුහු යෝජනා කළහ.
එම යෝජනාවට ධනාත්මක ප්‍රතිචාර දක්වමින්, එවැනි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා, ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මාලි ප්‍රේමතිලක මහත්මිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුවේ නියෝජිතයන් මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ද එක්ව සිටියහ.
Source : Ada Derena News
More updates to come on AusNewsLanka.






































Comments