Big 7 Travel ශ්‍රී ලංකාව 2026 වසරේ ලොව අංක.01 සංචාරක දූපත ලෙස නම් කරයි...
- 4 hours ago
- 2 min read

ජාත්‍යන්තර සංචාරක ප්‍රකාශනයක් වන 'Big 7 Travel' විසින් සම්පාදනය කළ 2026 වසරේ ලොව හොඳම දූපත් 50 (50 Best Islands in the World) ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව ලොව අංක එකේ දූපත් සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබේ.
මෙම ගෞරවනීය ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ සුවිශේෂී විවිධත්වය ඇගයීමට ලක් කර ඇති අතර, රන්වන් වැලි තීර, විහිදී ගිය වෙරළ තීරය, සශ්‍රීක තේ වගා බිම්, ඓතිහාසික විහාරස්ථාන, යටත් විජිත යුගයේ නගර, මීදුමෙන් වැසුණු කඳුකරය සහ ලොව ප්‍රසිද්ධ වනජීවී අත්දැකීම් එහි විශේෂත්වයන් ලෙස පෙන්වා දී ඇත.
'Big 7 Travel' සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික වෙරළ සංචාරයකට පමණක් සීමා නොවන, ඊට වඩා පුළුල් සහ සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබාදෙන ගමනාන්තයක් බවයි.
එම ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය, ඓතිහාසික ස්මාරක සහ අමතක නොවන සංචාරක අත්දැකීම් ඉහළින් අගය කර ඇති අතර, ලොව වැඩිම දිවි ඝනත්වයක් වාර්තා වන ජාතික වනෝද්‍යාන අතරින් එකක් වන යාල ජාතික වනෝද්‍යානයේ සෆාරි සංචාර, එහි දිවියන් සහ අලි ඇතුන් නැරඹීමේ අවස්ථාද විශේෂයෙන් සඳහන් කර ඇත.
එමෙන්ම, ප්‍රකට ගවේෂක මාර්කෝ පෝලෝ (Marco Polo) විසින් ශ්‍රී ලංකාව "ලොව ඇති එහි ප්‍රමාණයට අනුව හොඳම දූපත" ලෙස වර්ණනා කළ ප්‍රකාශයද එම ප්‍රකාශනය සිහිපත් කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රංශ පොලිනීසියාවේ මෝඔරියා (Moʻorea), යේමනයේ සොකොට්‍රා (Socotra), පෘතුගාලයේ මඩෙයිරා (Madeira) සහ ඉක්වදෝරයට අයත් ගැලපගෝස් දූපත් (Galápagos Islands) වැනි ලොව ප්‍රකට දූපත් සංචාරක ගමනාන්ත අභිබවා පළමු ස්ථානය හිමිකරගෙන ඇත.
මෙම ජාත්‍යන්තර ඇගයීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් වැදගත් ජයග්‍රහණයක් සනිටුහන් කරන අතර, 2026 වසරේ අනිවාර්යයෙන්ම සංචාරය කළ යුතු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය පුරා වැඩි අවධානයක් දිනාදීමට මෙය හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Source : News First
More updates to come on AusNewsLanka.


































